විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

August 4, 2026   12:36 am

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සදහන් කළේ ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරිම, අභියාචනාධිකරණයේ සහ මහාධිකරණවල විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර 6කට සීමා කිරීම යන යෝජනා අදාළ පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි.

පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඒසම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ගොනු කිරීමේ හැකියාවක් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

ඊයේ (03) රාත්‍රී TV දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහත,

"අද දිනයේදී මේක තමයි අපි පොඩ්ඩක් ඉස්මතු කරගන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධනය පමණක් නෙමෙයි. මොකද අපි මේ තියෙන සංශෝධනයෙන් කරුණු කිහිපයක් කරනවා. එකක් තමයි සියලු විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම. ව්‍යවස්ථා සංශෝධනය එන්නේ එකෙයි, කෝට් එකේ කට්ටියගේ වයස වැඩි කිරීමේදී. අනිත් එකට අපි අධිකරණ සංවිධාන පනත තමයි සංශෝධනය කරලා තියෙන්නේ.

ඊට අමතරව නඩුකාරතුමන්ලාගේ සංඛ්‍යාව වැඩි කරනවා. මහධිකරණය එකෙත් අපි වැඩි කරන්න ඒ සංශෝධනේම දාලා තිබෙනවා. ඒක අපි කතා කරපු නැති දෙයක් තමයි අපි මෙතන කල්පනා කරා අගවිණිසුරු වීමේදී අවුරුදු හයක උපරිම කාලයකට යටත් කරන්න ඕනෙයි කියලා. මේක ඇත්තටම අපි ඒ කෑල්ල අපිට එන්නෙම අර දෙදාස් දාසයේ නීතිඥ සංගමය විසින් කරපු යෝජනාවලියේ තියෙන කොටසක් වශයෙන් අපි ඒක ගත්තේ. ඒක අවුරුදු හයකට සීමා වෙනවා.

ඒ කියන්නේ එක්කෝ හැට හතයි. එක්කෝ එක්කෝ වසර හය සම්පූර්ණයෙන්ම කියන සංශෝධන අද ගෙනාවා. අද ඒක අපි කැබිනට් එකට ඉදිරිපත් කරලා ගැසට් පත්‍රයේ භාෂා තුනම ඉදිරිපත් කරලා, ගැසට් පත්‍රයේ පල කරන්න තමයි අවසර ඉල්ලන්නේ. ඉතින් ඒක ගැසට් පත්‍රය පල කරයින් පස්සේ මම හිතන්නේ සතියක් පමණ ගැසට් පත්‍රෙය් තියෙන්න ඕනේ. ඊට පස්සේ සති දෙකක් පමණ පාර්ලිමේන්තු ඕඩර් පේපර් එකේ තියෙන්ඩ ඕන. සති තුනක වගේ කාලයක් තිබෙනවා.

ඒ කාලය තුළ මං හිතන්නේ මේකට අභියෝග කරනවා නං මේකේ තියෙන වරදක් ප්‍රශ්නයක් තියෙනවා නං, මහජන කතිකාවක් තියෙනවා නං මේක ඇති කර ගන්න පුළුවන්. එතකොට මා හිතනවා බොහෝ වෙලාවට මේකට නඩු පැවරේවි. එහෙම වුණොත් ඒක ඔය මාස තුන තව මාසයක් දක්වා කාලය දීර්ඝ වෙන්න පුළුවන් මාස එකහමාරක් උනත් යන්න පුළුවන්. මොකද මාසයක් අධිකරණයෙන් දෙන්න ඕන."