අයහපත් කාලගුණයෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන 3කට බලපෑම්
August 4, 2026 01:50 pm
මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.
පේරාදෙණියේ පිහිටි මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා ජලය පැමිණීම නිසා ඊයේ (03) පස්වරුවේ එහි කටයුතු නවත්වා දැමීමට සිදුවූ අතර, එමගින් පවුල් 40,000කට පමණ බලපෑම් එල්ල වූ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
කෙසේ වෙතත්, මහවැලි ගඟේ ජල මට්ටම පහළ යාමත් සමඟ මේ වන විට මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ද සභාපතිවරයා පැවසීය.
එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ මාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා මාවනැල්ල සහ අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකට ද බලපෑම් එල්ල වී ඇති බවය.
ඉන් මාවනැල්ල පිරිපහදු මධ්‍යස්ථානය මේ වන විට යථා තත්ත්වයට පත්කර ජල සැපයුම ක්‍රියාත්මක කර ඇති බවත් අසුපිනිඇල්ල මධ්‍යස්ථානය තවමත් අකර්මන්‍ය තත්ත්වයේ පවතින බවත් චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මේ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ජල සබඳතා 40,000කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.
එමෙන්ම චන්දන බණ්ඩාර මහතා පැවසුවේ මෙම ගංවතුර තත්ත්වයේ බලපෑම එල්ල වූයේ මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට පමණක් වන අතර ඉන් බස්නාහිර පළාතට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවය.
ගංවතුර තත්ත්වය සමඟ ගංගාවල ජලයේ මඩ සහ බොර ගතිය වැඩි වී තිබුණ ද, නිසි පරිදි පිරිපහදු කිරීමෙන් අනතුරුව ජලය බෙදා හරින බැවින් එහි ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා,
''ඊයේ දිනය පුරාම සහ ඊයේ රාත්‍රියේ දී ඇතිවෙච්ච අධික වර්ෂාපතනයත් එක්ක විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය සහ නුවරඑළිය දිස්ත්‍රික්කය දෙකට සහ රත්නපුරයට ඇතිවෙච්ච අධික වර්ෂාපතනයත් එක්ක මහවැලි ගඟ, ඒ වගේම කළු ගඟ, ඒ වගේම කැළණි ගඟ, මා ඔය, මේ වගේ ගංගාවල ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා ගංවතුර තත්වයක් ඇති වුණා. මේකත් එක්ක ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක් අපිට තාවකාලිකව අත්හිටුවන්න සිද්ධ වුණා. මේකෙන් විශේෂම අත්හිටුවීමක් සිද්ධ කරපු ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් තියෙනවා. එකක් පේරාදෙණියේ පිහිටලා තියෙන මී වතුර ජල පිරිපහදු මධ්‍යස්ථානය අපිට නවත්තන්න සිද්ධ වුණා අපේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා වතුර පැමිණි නිසා. පවුල් හතළිස් දාහකට පමණ ඒ හේතුවෙන් බලපෑම ඇති වුණා. ඊයේ හවස අපිට නවත්තන්න සිද්ධ වුණේ. නමුත් මේ මොහොත වෙනකොට මී වතුර ජල මධ්‍යස්ථානය යථා තත්වයට පත්වෙලා තියෙනවා. මහවැලි ගඟේ ජල මට්ටම අඩුවෙමින් යනවා මේ මොහොත වෙනකොට. ඒක යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා.
ඒ වගේම මාවනැල්ල සහ අසුපිනිඇල්ල කියන ජල සම්පාදන පිරිපහදු මධ්‍යස්ථාන දෙකට බලපෑම් එල්ල වුණා. මා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග. එතනදී මාවනැල්ල මේ මොහොත වෙනකොට යථා තත්වයට අපි පත් කරලා තියෙනවා. ජල සම්පාදනය යථා පරිදි ක්‍රියාත්මක වෙනවා. නමුත් අසුපිනි ඇල්ල අපිට තවමත් යථා තත්වයට පත්කරගන්න බැරි තත්වයෙන් තිබෙනවා. මේ මොහොත වෙනකොටත් අකර්මන්‍ය තත්වයේ තියෙන්නේ අසුපිනි ඇල්ල පමණයි. ජල සම්පාදන සම්බන්ධතා 40,000 පමණ බලපෑම් එල්ල වෙලා තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ..
ඊට අමතරව මධ්‍යම කඳුකරයේ ඇතිවෙච්ච ජල ගැලීම් තත්වයත් එක්ක සමහර අපේ පිරිපහදු මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් ඔපරේට් කරන්නේ නැතුව අපිට අර්ධ වශයෙන් ක්‍රියා කරවන්න සිද්ධ වුණා. නමුත් ඒවත් මේ මොහොත වෙනකොට සියලුම දේවල් යථා තත්වයට පත්වෙලා තියෙනවා. බස්නාහිර පළාතට ඇත්තටම මේ ගංවතුර තත්වය නිසා බලපෑමක් නැහැ. මේක මහනුවර දිස්ත්‍රික්කයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයට පමණයි මේ බලපෑම එල්ල වුණේ. ගංවතුර තත්වයත් එක්ක ගංගාවල ජලයේ තියෙන මඩ ගතිය වැඩි වෙන්න පටන් ගත්තා. ඒ වැඩි වුණත් අපි පිරිපහදු මධ්‍යස්ථාන තුළ නියමිත පරිදි පිරිපහදු කරලා ජලය සම්පාදනය කරන්නේ. එම නිසා ගංවතුර තත්වය සමග ගංගාවල ජලය යම් බොර ගතියක් එහෙම නැත්නම් මඩ ගතියක් ආවට පිරිපහදු කරලා සම්පාදනය කරන ජලය සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. අපි පාරිභෝගික ජනතාවට ඉල්ලීමක් කරනවා ඒ ගැන මුකුත් සැකයක් තියා ගන්නේ නැතුව ජලය පාවිච්චි කරන්න කියලා..''
