බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් නොකරන හේතුව නලින්ද කියයි
August 4, 2026 04:01 pm
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිස්ව පවතින බන්ධනාගාර කොමසාරිස් ධුරය සඳහා අයෙකු පත් නොකිරීමට හේතු වී ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධව මේ වන විටත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පැවතීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (04) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ අවසන් වන තෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ස්ථීරවම කොමසාරිස්වරයෙකු පත් කිරීමට නොහැකි බවය.
ඒ වෙනුවට වැඩ ආවරණය කිරීම සඳහා අයෙකු පත් කිරීමට හැකි බවත් ඒ අනුව මේ වන විට ඒ සඳහා නිලධාරියෙකු පත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද හිටපු කොමසාරිස්වරයා සම්බන්ධව පරීක්ෂණ අවසන් වූ පසු ලැබෙන තීන්දුව අනුව ඉදිරි පියවර ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව හිටපු කොමසාරිස්වරයා වරදකරු වුවහොත් නව කොමසාරිස්වරයෙකු පත් කිරීමට හැකියාව ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා යම් හෙයකින් ඔහු අදාළ පරීක්ෂණවලින් නිවැරදිකරු වුවහොත් නැවත ඔහුවම සේවයේ පිහිටුවීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
"හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් වෙමින් පවතිනවා. පරීක්ෂණයක් දියත් වෙමින් පවතිනකොට ඕනෑම නිලධාරියෙකුට ඔහු පරීක්ෂණයෙන් වරදකරු කරලා ඔහු සේවයෙන් අහිමි කරන තෙක් සිදුවන්නේ වැඩබල කෙනෙක් පත් කිරීම පමණයි. පරීක්ෂණ අවසන් වුණොත් අපිට පුළුවන් වේවී ඔහු නැවත සේවයේ පිහිටුවන්න. වරදකරු වුණොත් අලුත් කෙනෙක් ස්ථීරව පත් කරන්න පුළුවන් කම තියෙනවා."
