අවසන් ගමන් ගිය රන්දෙණියේ බණ්ඩාර හස්තියා
August 4, 2026 08:19 pm
ටිපර් රථයක ගැටී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අලුයම මියගිය 'රන්දෙණියේ බණ්ඩාර' නම් හස්තියා වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අවසන් කටයුතු සිදුකර තිබේ.
මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී කුරුණෑගල - මැල්සිරිපුර, ඕමාරගොල්ල පල්ලම ප්‍රදේශයේදී වැලි ටිපර් රථයක ගැටී පසුගිය 28 වනදා මෙම හස්තියා බරපතළ තුවාල ලබා තිබුණි.
පෙරහැර මංගල්‍යය සඳහා කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට අලියා රැගෙන යමින් තිබූ ලොරි රථයේ හදිසි කාර්මික දෝෂයක් හටගෙන තිබු බැවින් අලියා එම වාහනයෙන් බස්සවා පාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී, දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබිණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අලියා, කෑගල්ල - ඉඹුල්ගස්දෙනිය, මාරුක්වතුර මෝදර වත්තේ රඳවා තබා පශුවෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී අද (04) අලුයම ජීවිතක්ෂයට පත්විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ පශුවෛද්‍යවරුන් විසින් අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, එයින් අනතුරුව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
