වත්තල, පල්ලියවත්තේ ඝාතනයට වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු කොටුවෙයි
August 8, 2026 06:47 am
වත්තල, කදිරාන ප්‍රදේශයේදී උපන්දින සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඉකුත් ජූලි 23 වැනිදා රාත්‍රියේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගි වී සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.
එම සිද්ධියට අදාළව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහාය ඇතිව සිදු කරන ලද විමර්ශනයකින් පසුව ඊයේ (7) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පිරිස අතර වෙඩික්කරුට අමතරව කාර් රථය පැදවූ රියැදුරු හා අපරාධකරුවන්ට සැඟව සිටීමට ආධර අනුබල දුන් පුද්ගලයෙකු ද වන බව හඳුනාගෙන තිබේ.
ඔවුන් වයස අවුරුදු 26, 35 හා 36 වයස්වල පසුවන ජින්තුපිටිය, මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශවලදී අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මටටක්කුලියේ කුඩු රොශාන් නැමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබු නමුත් ඉලක්කය වැරදීමෙන් ඔහු අසල සිටි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂය පත්ව ඇති බව පොලීසිය මීට පෙර කරුණු වාර්තා කර තිබුණි.
මෙම ඝාතන සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුද පසුගිය දා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
