නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් කටුනායකදී කොටුවෙයි
August 8, 2026 07:51 am
රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු මිනුවන්ගොඩ , දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන කුළී රැකියාවල නිරත වී සිටින පුද්ගලයෙකි .
ඔහු අද (08) දින අලුයම 04.00ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
අදාළ පුද්ගලයා විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ තිබී එංගලන්තයේ නිෂ්පාදිත " ටොප් ගන් " වර්ගයේ දුම්වැටි 40,000ක් අඩංගු දුම්වැටි කාටූන් 200ක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.
මේ වනවිට මොහු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 19වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
