කොළඹ අහස සරසන සරුංගල් සැණකෙළිය අද පස්වරු 1 සිට ගාලු මුවදොරදී

කොළඹ අහස සරසන සරුංගල් සැණකෙළිය අද පස්වරු 1 සිට ගාලු මුවදොරදී

August 9, 2026   12:39 pm

ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රථම සහ එකම ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය වන දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද පස්වරු 1ට කොළඹ ගාලුමුවදොර පිටියේදී ආරම්භ වීමට සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර තිබේ.

තරගකරුවන් ලියාපදිංචිය අද පෙරවරු 10.30ට ආරම්භ කෙරුණි.

කොළඹ අහස විචිත්‍රවත් කරන දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.

දෙරණ මාධ්‍ය ජාලය , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව මෙය සංවිධානය කරන්නේ 6 වැනි වරටය.

ජාත්‍යන්තර සරුංගල් සම්මේලනයේ දත්ත අනුව ලොව පුරා පැවැත්වෙන සුවිසල්ම සරුංගල් සැණකෙළි 62 අතුරින් 9 වැනි ස්ථානයේ ශ්‍රේණිගතව ඇති දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හැදින්වෙන්නේ International Kite Federation හි ලියාපදිංචි සහ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ලෙසය.

මෙවරත් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා දේශීය තරගකරුවන් 2,500ක් මෙන්ම මහාද්වීප 6ක රටවල් 30ක් නියෝජනය කරමින් විදෙස් සරුංගල් ශිල්පීන් 80 දෙනෙකු අද එක්වීමට නියමිතය.

තරග අංශ 08ක් යටතේ අද තරග පැවැත්වෙනවා.

එම තරග ඉසව් වන්නේ , 
01. නිර්මාණාත්මක සරුංගලය
02. දෙරණ ලාංඡනය යෙදූ නිර්මාණාත්මක සරුංගලය
03. සිග්නල් ලාංඡනය යෙදූ නිර්මාණාත්මක සරුංගලය
04. මැජික් අයිස්ක්‍රීම් වර්ණවත්ම සරුංගලය
05. කොත්මලේ විචිත්‍රවත්ම සැරසිලි යෙදූ සරුංගලය
06. සන්ක්‍රෂ් කලාත්මක මොනර සරුංගලය
07. DSI Beat ලස්සනම සරුංගලය ( වයස අවුරුදු 15න් පහළ)
08. සිග්නල් රාත්‍රී සරුංගලය

දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණ සිටින ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, ඉන්දුනීසියාව, චීනය ඇතුළු රටවල් 30ක විදෙස් සරුංගල් ශිල්පීන්ද අද උදෑසන සිටම ගාලු මුවදොර පිටියට පැමිණ සිටී.

මේ අතර ශ්‍රී ලංකා පොලිසියෙන් ගාලුමුවදොර අවට අද විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකය.

සරුංගල් සැණකෙළියට පැමිණෙන යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ නරඹන්නන්ගේ වාහන ගාල්කිරීම සඳහා කොළඹ නගරයේ රථගාල් 21ක්ද කොළඹ නරගයේ ස්ථාපිත කර තිබේ.

සරුංගල් සැණකෙළිය අවසානයේ අද රාත්‍රී 7.30ට ගාලුමුවදොර පිටියේදී දෙරණ BOOM TOWN සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.

ප්‍රසංගය සංගීතවත් කරන්නේ තාරුණ්‍යයේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඇවටා සංගීත කණ්ඩායමයම වේ.