මහින්දානන්දගේ බලකොටු බිඳගෙන පොහොට්ටුවේ හිටපු සංවිධායක සර්වජන බලයට
August 9, 2026 04:27 pm
නාවලපිටිය ආසනයෙන් ශ්‍රී ලංකා පොදුනජන පෙරමුණේ හිටපු සංවිධායක කේ.එල්.ඒ. ගුණසිංහ මහතා ඇතුළු කොට්ඨාස නියෝජිතයින් පිරිසක් සර්වජන බලය සමඟ එක්ව තිබේ.
සර්වජන බලයේ ජාතික සංවිධායක, දිලුම් අමුණුගම මහතා සමඟ මෙම පිරිස අද (09) නාවලපිටියේ පෞද්ගලික ශාලාවකදී විශේෂ හමුවක්ද පැවැත්වුණි.
සාකච්ඡාවෙන් අනතුරුව කේ.එල්.ඒ. ගුණසිංහ මහතා පවසා සිටියේ, තමා ඇතුළු පිරිස සර්වජන බලය සමඟ නිල වශයෙන් එක්ව කටයුතු කරන බවය.
මෙම පිරිස එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් දිලුම් අමුණුගම මහතා කියා සිටියේ, බන්ධනාගාරවල ඇතිවන ගැටුම්වලට විපක්ෂය සෘජුව මැදිහත් වන බවට චෝදනා කරන්නේ නම් ඒ සඳහා රජයක් අවශ්‍ය නොවන බවයි.
මේ අතර මහා නායක ස්වාමීන් වහන්සේලාගේ විරෝධය, විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රයේ නිකුත් කිරීම, වත්මන් රජයේ ඒකාධිපතිවාදය හොඳින් නිරූපණය වන අවස්ථාවක් බවත් ඔහු පෙන්වීය.
එසේම සියලු පක්ෂ මේ වන විට ඉහළ ඡන්ද දායක මට්ටමක් ලබා සිට අඩු ඡන්ද මට්ටමක් දක්වා පහළ බැස සිටියත් සර්වජන බලය පක්ෂයේ පමණක් බින්දුවේ සිට පටන්ගෙන මේ වනවිට ඉතා හොඳ ඡන්ද පදනමක් ගොඩනගා ගෙන ඇති බව දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
