මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කාදිනල් හිමි කියයි
August 10, 2026 04:51 pm
කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරු දින එල්ල වූ ත්රස්ත ප්රහාරයට අදාළව වගකීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලබා දුන් මරණ දඩුවම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමිනි.
මරණ දණ්ඩනයෙන් මානව ගරුත්වය උල්ලංඝනය වන බවත් සාන්ත සභා ඉගැන්වීම තුළ කිසිදු මරණීය දණ්ඩනය පැනවීමක් සම්බන්ධයෙන් එකඟවීමට නොහැකි බවත් කාදිනල් හිමියන් අවධාරණය කළේය.
කෙසේවෙතත් ශ්රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබන බවත් එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට හෝ කිසිදු ආකාරයකින් මැදිහත්වීමට අදහස් නොකරන බවත් කොළඹ අගරදගුරු පදවිය සඳහන් කරයි.
2019 පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් මෑතක සිට සිදුවෙමින් පවතින සංවාදාත්මක පරිසරය තුළ, කොළඹ අගරදගුරු පදවිය මෙම ප්රහාරයන්හි වින්දිතයින් සමග පුර්ණ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරනු ලබයි.
මෙම ප්රහාරයන්ට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ සියලු පාර්ශවයන් හෙළිකර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින් හට යුක්තිය ඉටු කර දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

