රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

August 11, 2026   04:20 pm

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන රත්මලානේ සයිමා නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

එහිදි ඔහු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇත.

වැඩිදුර විමර්ශන සඳහා “රත්මලානේ සයිමා” නමැත්තා ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියානු පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එරටදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනා ඊයේ පස්වරුවේ වැඩිදුර විමර්ශන සඳහා මෙරටට රැගෙනවිත් තිබේ.

ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 2014 වසරේ පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.