ලොතරැයි අංකවලින් සිදුකරන සූදුවක් ගැන හෙළිදරව්වක්
August 12, 2026 08:36 pm
ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩලවල දිනුම් ඇදීමේ අංක පදනම් කරගනිමින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී සූදු ක්‍රීඩාවක් හේතුවෙන් සමාජය තුළ බරපතළ ව්‍යසනයක් නිර්මාණය වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
කෝප් (COPE) අනුකමිටුව හමුවට ලොතරැයි මණ්ඩල දෙකෙහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී ඔහු මේ බව පෙන්වා දුන්නේය.
මෙම අතිශය විනාශකාරී තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිතයට පමණක් දෙවැනි වන තරමේ බරපතළ එකක් බවත්, වසර 4-5කට පෙර ගම්වල රුපියල් 100 වැනි මුදලකට ආරම්භ වූ 'කොටු කැපීමේ' සූදුවක් මෙලෙස බරපතළ ව්‍යසනයක් දක්වා දිගහැරී ඇති බවත් පැවසීය.
ආදායම් අධික ප්‍රදේශවල එක කොටුවක් රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
0 සිට 9 දක්වා වූ සංඛ්‍යා රටාවලින් අංක 2ක් තෝරාගෙන, එදින නිකුත් වන ලොතරැයියේ අවසාන අංක දෙක සඳහා මෙහිදී ඔට්ටු අල්ලනු ලබයි.
ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල විසින් දිනුම් ඇදීම් සිදු කරන්නේ රාත්‍රී 7.30ට පමණ වුවද, මසකට අවශ්‍ය සියලු දිනුම් ඇදීම් එකවර සිදු කර දිනපතා නිකුත් කරන බවට ව්‍යාජ තොරතුරු ජනතාව අතර පතුරා, WhatsApp සමූහ හරහා සංවිධානාත්මකව මෙම මුදල් වංචා සිදු කරන බවද හෙළිව තිබේ.
ප්‍රදේශයේ පවතින ආර්ථික ක්‍රියාකාරකම් අනුව ඔට්ටු මුදල් වෙනස් වන අතර, මනම්පිටිය වැනි වී අස්වැන්න නෙළන ප්‍රදේශවල කොටුවක් රුපියල් 30,000ක් දක්වාත්, රත්නපුර මැණික් ආශ්රිත ප්‍රදේශවල රුපියල් ලක්ෂය ඉක්මවාත් ඔට්ටු තබන බව සඳහන් වේ.
මේ හේතුවෙන් බොහෝ පිරිසකට තම ඉඩකඩම් හා දේපොළ අහිමි වී අසරණ වී සිටිති. සැමියන් මෙම සූදුවට ඇබ්බැහි වීම නිසා පීඩාවට පත් කාන්තාවන්ගෙන්ද නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බව සභාපතිවරයා පැවසීය.
මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට, රාජ්‍ය බුද්ධි සේවාවට මෙන්ම මධ්‍යම දූෂණ අපරාධ විමර්ශන ඒකකයටද එවකට සිටපැමිණිලි කර ඇති නමුත් මෙතෙක් සුදුසු පියවර ගෙන නොමැත.
ජාතික ලොතරැයි පනත යටතේ ආයතනයට නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ නීත්‍යානුකූල ලොතරැයි ඇදීම් සඳහා පමණක් වන බැවින්, මුදල් අමාත්‍යාංශයේ සෘජු සහාය නොමැතිව මීට එරෙහිව නීතිමය පියවර ගැනීම අපහසු බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම නීති විරෝධී සූදුව තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොතරැයි මණ්ඩලවල ව්‍යාපාරික පැවැත්ම මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිතද සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවට ඔහු පැවසීය.
