පියාගේ වියෝව මෙසිගේ පාපන්දු ක්‍රීඩාවේ අවසානය වේවිද?

පියාගේ වියෝව මෙසිගේ පාපන්දු ක්‍රීඩාවේ අවසානය වේවිද?

August 12, 2026   09:42 pm

තම පියාගේ අභාවයෙන් පසු සංවේදී සටහනක් තබමින් ලියොනාල් මෙසි ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් කොපමණ කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරතවේද යන්න පිළිබඳව තමාට ස්ථිර අදහසක් නොමැති බවය.

දිගුකාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මියයන විට මෙසිගේ පියා වන ජෝර්ජ් මෙසි 68 වන වියේ පසුවිය.

14 හැවිරිදි වියේ සිට මෙසිගේ ක්‍රීඩා නියෝජිතයා ලෙස කටයුතු කළ ජෝර්ජ්, තම පුත්‍රයා ලෝකයේ බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු බවට පත්වන අයුරු අසල සිට දුටු ප්‍රධානම පුද්ගලයා විය.

පියාගේ වියෝවෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් තබමින් මෙසි මෙසේ සඳහන් කර තිබේ.

"ඔබ නොමැතිව මම කුමක් කරද්දැයි මම නොදනිමි. ඉදිරියට යන්නේ කෙසේදැයි මට වැටහීමක් නැත. මම මීට පෙර කළේ පාපන්දු ක්‍රීඩා කිරීම පමණි, නමුත් මම තවදුරටත් වැඩි කාලයක් එය දිගටම කරගෙන යයිද යන්න ගැන මට ඇත්තේ දැඩි අවිනිශ්චිතතාවකි."

"ආරම්භයේ සිටම ඔබ මගේ ළඟින්ම සිටියා. අපට අවසානය දක්වා යාමට ඉතා ආසන්නව සිටියදී, අපට මෙය එකට අවසන් කිරීමට තවත් ටික කාලයක් ඉවසී සිටින්නට නොහැකි වූයේ මන්ද?"

"ඔබ මගෙන් දිගින් දිගම ඉල්ලා සිටියේ තවත් එක් ලෝක කුසලානයක ක්‍රීඩා කරන ලෙසයි. එය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඔබේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරුණා."

"මම ඔබට පැවසුවේ අප අවසන් මහා තරගයට පැමිණෙන බවත්, එවිට ඔබට පැමිණිය හැකි බවත්ය. සෑම තරගයක්ම අවසන් වූ පසු මම ඔබේ පණිවිඩය බලා සිටියෙමි. අවසන් මහා තරගය දක්වා පැමිණියද, ඔබට එහි පැමිණීමට නොහැකි විය."

මෙම වසරේ පැවති 2026 ලෝක කුසලානයේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් තරග 8 කට සහභාගී වූ මෙසි, ගෝල 8 ක් ලබා ගනිමින් සහ ගෝල 4 කට සහය වෙමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

2022 වසරේ ආර්ජන්ටිනාව ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ කණ්ඩායමේ නායකයා වූ මෙසි, 2026 ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ආර්ජන්ටිනාව රැගෙන ගියද, එහිදී ස්පාඤ්ඤය හමුවේ 1-0 ක් ලෙස පරාජය විය.