ආපදා පෙර සූදානම සම්බන්ධයෙන් තරුණයන් බලගැන්වීමට UNFPA සහ NYSC එකතු වෙයි
August 12, 2026 10:11 pm
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ආපදා පෙර සූදානම සහ හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කළ ‘The Resilience Lab, ආපදා අවස්ථාවන් වලදී දේශීය තරුණ ක්‍රියාකාරීත්වය’ ජාතික වැඩසටහන අද (12) මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙවර ජාත්‍යන්තර තරුණ දින තේමාව වන ‘විවිධ සන්දර්භයන්, පොදු අපේක්ෂාවන්’ (Different Contexts, Shared Aspirations) යටතේ පැවැති මෙම වැඩසටහන සඳහා දිවයින පුරා පිහිටි යොවුන් සමාජ ජාලය නියෝජනය කරමින් තරුණ තරුණියන් 100 දෙනෙකුට අධික පිරිසක් එක්ව සිටියහ.
ආපදාවකින් පසු සිදුකරන සහන සේවාවලට පමණක් සීමා නොවී, පූර්ව ආපදා අවදානම් කළමනාකරණය, පූර්ව අනතුරු ඇඟවීම් සන්නිවේදනය සහ ප්‍රජාවන්ට ආපදා අවස්ථාවලට පෙර සූදානමකින් යුතුව මුහුණ දීම සඳහා තරුණ දායකත්වය ලබාගැනීමත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ කුසලතා වර්ධනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ විය.
ජනගහනයෙන් මිලියන 2.2 කට බලපෑම් කරමින්, 600 කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් සහ නිවාස 115,000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ 'දිට්වා' සුළි කුණාටුව වැනි පසුගිය ආපදා අත්දැකීම් පාදක කරගනිමින්, මෙහිදී ප්‍රායෝගික අභ්‍යාස (tabletop simulations) පැවැත්විණි.
ගංවතුර, නායයෑම් සහ ඩෙංගු වසංගත තත්ත්වයන් අනුකරණය කරමින් පැවැති මෙම අභ්‍යාස මගින්,
ගැබිණි මව්වරුන්, ආබාධිත තැනැත්තන් සහ වයෝවෘද්ධ පිරිස් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි පාර්ශ්ව වෙත පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම් (SRHR) මෙන්ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ආපදා ප්‍රතිචාරයන්ට ඇතුළත් කිරීම.
යන කරුණු සම්බන්ධයෙන් තරුණ පිරිසට විශේෂ පුහුණුවක් ලබා දී තිබේ.
මෙම වැඩසටහන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRC) සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPASL) තාක්ෂණික සහයෝගය ලබා දෙන ලදී.
2024 ජන සංගණන දත්තවලට අනුව වයස අවුරුදු 15-29 අතර තරුණ පිරිස සමස්ත ජනගහනයෙන් 22% ක් (සෑම 5 දෙනෙකුගෙන්ම එක් අයෙක්) වේ.
මුළු රටම ආවරණය වන පරිදි පවතින මෙම ජාලය හරහා 280,000 ක පමණ තරුණ බලකායක් සක්‍රීයව සම්බන්ධ කරගත හැක.
එහිදී අදහස් දැක්වූ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ තරුණ කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජෙනරාල්, නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ, ආපදා අවස්ථාවකදී හුදෙක් ප්‍රතිචාර දක්වන පිරිසක් වෙනුවට, පූර්ව අනතුරු ඇඟවීම් ලබාදෙමින්, ප්‍රජාව සංවිධානය කරමින් සහ ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව දායක වන තරුණ නායකත්වයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවය.
එමෙන්ම UNFPA ශ්‍රී ලංකා සහකාර නියෝජිත, වෛද්‍ය දයානාත් රණතුංග මහතා පැවසුවේ, තරුණ තරුණියන් යනු හුදෙක් ආපදා සහන සේවා ලබන්නන් පමණක් නොවෙයිල ඔවුන් සන්නිවේදකයින්, ප්‍රජා සංවිධායකයින් සහ පළමු පෙළ ප්‍රතිචාර දක්වන්නන්, තරුණ ජාලයට තාක්ෂණික දැනුම සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතා අවබෝධය ලබාදීම මගින් ඔවුන්ගේ උද්යෝගය රටටම වැඩදායී සංවිධානාත්මක ශක්තියක් බවට පත්කළ හැකිය බවය.
