රට රැකියා සිහිනය පෙන්වූ ව්‍යාජ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රට රැකියා සිහිනය පෙන්වූ ව්‍යාජ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

August 13, 2026   10:38 am

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අයකරන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවා තිබේ.

එම තොරතුර අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකරුවෙකු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී, විදේශ ගමන් බලපත්‍ර 7ක්, ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද තිබී නිලධාරීන් භාරයට ගෙන තිබේ. 

මොවුන් විසින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා රැකියා ලබාදිය හැකි බවට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය තිබේ.

එසේම ඔවුන් කාර්යාංශයේ නිළධාරීන් ලෙස හැගී යන පරිදි කටයුතු කර තිබේ. 

මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමේ නිරතවීම හේතුවෙන් කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම වී සිටින චාන්දනී මැණිකේ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට, ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාළ අංශවල සේවය කරන නිලධාරීන්ගෙන් පමණක් සිය සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙස හෝ එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිලධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.  

එසේම කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිඳු පුද්ගලයෙකු සමග ගණුදෙනු කිරීමෙන් වළකින ලෙසද කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.