අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි - ජනපති 

අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි - ජනපති 

August 13, 2026   12:03 pm

තමන් සතු බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (12) පස්වරුවේ පැවැති හමුවේදීය.

"මගේ විධායක බලය හො අප සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත කරන්නේ නැහැ. ඊළඟට උපුල් මහත්මයා කියපු අවදානම. ඒ කියන්නේ, මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න වුණා. ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි. ඒ වගේම මම, මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් සිද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන.

හොඳම උදාහරණය කියන්නම්, පාස්කු පරීක්ෂණය දියත් කරලා තියෙන්නේ, බුද්ධි අංශයට. ම‌ගේ ආරක්ෂාවට වගකියන්නේ, කවුද? ඒත් පරීක්ෂණ යනවානේ? ඒ තුළ ජීවිත අවදානම තියෙනවා කියලා මම දන්නවා. නමුත් අවදානමක් දරාගන්නේ නැතිව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම්. ඒ අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම්  ඒක ඉතා හොඳින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒ්කට මම සූදානම්."