බැකෝ සමන්ගේ මව ඝාතනය ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක්ද?
August 13, 2026 12:26 pm
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්රසංග නොහොත් බැකෝ සමන් නැමැත්තාගේ මව වෙඩිතබා ඝාතනය කිරීම ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයට පළිගැනීමක් ලෙස සිදුකර ඇතැයි සැකකරන බව පොලීසිය පවසයි.
විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය, ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය වැඩිදුරටත් සැකපළකරයි.
කෙහෙල්බද්දර පද්මේ සමග බැකෝ සමන්ද ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුද ගණේමුල්ලේ සංජීව ඝාතනයට සහය ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවී තිබුණි.
එමෙන්ම කජ්ජා නමැත්තා හා දරු දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් ද බැකෝ සමන්ට චෝදනා එල්ලවී තිබේ.
මේ අතර වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මාතර, දම්පහළ, පොල්වත්ත ප්රදේශයේ දමාගොස් තිබියදී අද (13) උදෑසන ඌරුබොක්ක පොලිසිය විසින් සොයාගනුලැබීය.
මිද්දෙණිය, උලහිටියාව, පදලන්ගල ගෙදර ප්රදේශයේදී ඊයේ (12) පස්වරු 6ට පමණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.
වෙඩිතැබීම සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණී.
මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර එහිදී වෙඩික්කරුවන් විසින් අදාළ කාන්තාවගේ පපු ප්රදේශයට වෙඩි ප්රහාර 7ක් පමණ එල්ල කර තිබේ.
අනතුරුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
පසුව වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්රතිකාර සඳහා මිද්දෙණිය ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
