සුනඛයින් මිනිස් මුහුණේ හැඟීම් හොඳින් හඳුනාගන්නා බවට සාක්ෂි

සුනඛයින් මිනිස් මුහුණේ හැඟීම් හොඳින් හඳුනාගන්නා බවට සාක්ෂි

August 13, 2026   02:20 pm

මිනිසුන්ගේ මුහුණේ ඇතිවන විවිධ හැඟීම් වෙන්කර හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි බව වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් සොයා ගෙන තිබේ. 

මෙම හැකියාව පිළිබඳව මෙතෙක් අනාවරණය වූ පළමු විද්‍යාත්මක සාක්ෂිය මෙය වන බව පර්යේෂකයෝ පවසති.  

මෙම අධ්‍යයනය සඳහා සුනඛයින් 12 දෙනෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ඇති අතර, එහිදී විවිධ හැඟීම් ප්‍රදර්ශනය කරන මිනිස් මුහුණු ආශ්‍රිත ඡායාරූප නැරඹීමේදී ඔවුන්ගේ මොළයේ සිදු වූ වෙනස්කම් විශ්ලේෂණය කිරීමට යන්ත්‍ර ඉගෙනුම (machine learning) තාක්ෂණය භාවිත කර ඇත.

පර්යේෂකයන්ට අනුව, ඉහළ සංජානන ක්‍රියාකාරීත්වයන් සහ සතුටක් දෙන දෙයක් ලැබුණු විට මොළයේ ක්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධ වී ඇති ප්‍රදේශ වන  temporal cortex සහ caudate nucleus යන කොටස් සක්‍රීය වී ඇත්තේ නාඳුනන පුද්ගලයන්ගේ සතුටු මුහුණු ඡායාරූප දුටු අවස්ථාවලදී පමණි.

මෙම අධ්‍යයනයට අනුව, කෝපය, බිය සහ දුක යන හැඟීම් මොළයේ එම ප්‍රදේශ උත්තේජනය කර නොමැත. කෙසේ වෙතත්, පර්යේෂකයන් සුනඛයින්ගේ මුළු මොළයම පරීක්ෂා කර බැලීමේදී, බිය සහ කෝපය මෙන්ම දුක යන හැඟීම් එකිනෙකින් වෙන් කර හඳුනාගත හැකි සුවිශේෂී මොළයේ ක්‍රියාකාරීත්ව රටාවන් සොයා ගැනීමට සමත්ව ඇත. 

පර්යේෂක ලෝරා ක්වායා පවසා ඇත්තේ ඍණාත්මක මුහුණේ ඉරියව් නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමට සුනඛයින්ට හැකියාව ඇති බවට ලැබුණු පළමු සාක්ෂිය මෙය බවය.

"අපගේ ඉරියව් තේරුම් ගැනීමට සහ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බල්ලන් අප සමඟ පරිණාමය වී තිබෙනවා. මෙම කරුණ අවබෝධ කර ගැනීමෙන් අප ඔවුන් සමඟ සන්නිවේදනය කරන සහ ඔවුන් රැකබලා ගන්නා ආකාරය වෙනස් කර ගත හැකියි." 

මින් පසුව ශරීර භාෂාව, ස්වරයේ වෙනස්කම් සහ සුවඳ වැනි අනෙකුත් සංඥාද එකතු කර ගනිමින් සුනඛයින් තමන් වටා සිටින මිනිසුන් තේරුම් ගන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. 

එමෙන්ම, මිනිස් සහ සුනඛ මොළය එකම හැඟීම් සංඥා සකසන්නේ කෙසේදැයි යන්න සංසන්දනය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වෙති.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය සඳහාකල් පවත්නා ආදරණීය පවුල්වල සුරතල් බල්ලන් පමණක් සහභාගී කරගත් බව පෙන්වා දෙන පර්යේෂකයෝ, එවැනි පරිසරයක නොවැඩුණු වෙනත් බල්ලන් මිනිස් හැඟීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය මීට වඩා වෙනස් විය හැකි බවටද අවධාරණය කර සිටිති.