විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම යථාර්ථයක් කිරීමයි - දිනන දකුණ සාමූහිකය
August 14, 2026 12:31 pm
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම යථාර්ථයක් කරන්නක් බව 'දිනන දකුණ සාමූහිකය' පවසයි.
ඔවුන් පවසන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට අදාළව ‘අවදානමක්‘ ගැනීම කිසිසේත්ම සිදුකළ නොහැක්කක් බවය.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පළ කළ අදහස් පිළිබඳ දිනන දකුණ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රතිචාරය අද (14) දක්වා තිබුණි.
එයින් ඔවුන් සඳහන් කරන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සහ අධිකරණයේ කාර්යක්ෂමතාව නැංවීම පිළිබඳ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ තර්ක තුළ ගැඹුරක් නොමැති බවය.
එම සාකච්ඡාවේ පළ කෙරුණේ අදහස් ඒකපාර්ශ්විකව සමාජයට මුදාහැරීම ජනාධිපතිවරයාගේ තවත් අත්තනෝමතික ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දී තිබේ.
ඔවුන් අවධාරණය කරනුයේ ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වන අධිකරණයේ ස්වාධීනත්වයට අදාළව අවදානමක් ගැනීම කිසිසේත්ම සිදුකළ නොහැක්කක් බවය.
විධායකයට සමාජීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලදී දේශපාලන අවදානම් ගැනීමට හැකි වුවද, අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තබා විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවදානම් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවම අනතුරේ හෙළීමක් බව ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
එමෙන්ම 22 වැනි සංශෝධනය අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම යථාර්ථයක් කරන බව තම විශ්වාසය බවද දිනන දකුණ සංවිධානය පවසයි.
මේ අතර ජනාධිපතිවරයා අධිකරණ පුරප්පාඩු පිරවීම පිළිබඳ සිදුකරන ප්‍රකාශ ද, පරස්පර විරෝධී බව ඔවුන්ගේ අදහස වි තිබේ.
විනිසුරුවරුන්ගේ උසස්වීම් අත්තනෝමතික ලෙස ප්‍රමාද කිරීම හෝ අත්හිටුවීම එම විනිසුරුවරුන්ගේ සාධාරණ නෛතික අපේක්ෂාවලට ගරු කිරීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් නිවේදනයේ සඳහන් වේ.
එසේම මහාධිකරණයේ පවතින පාස්කු ප්‍රහාරයට අදාළ නඩු වැනි නීති කටයුතු පදනම් කරගෙන උසස්වීම් අත්හිටුවීමෙන් විනිසුරුවන්ගේ උසස්වීම් සඳහා අත්තනෝමතික නිර්ණායක ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියාකරමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ඔවුන් පෙන්වා දි තිබේ.
22 වැනි සංශෝධනයේ විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීම නඩු ප්‍රමාදය අඩු කිරීමේ උත්සාහය සමග කිසිදු තාර්කික සබඳතාවක් ගොඩනගන්නට ජනාධිපතිවරයාට නොහැකි වූ බවද නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම 22 වැනි සංශෝධනය මහජන යහපත උදෙසා ගන්නා ලද අවදානමක් ලෙස හඳුන්වන විට ජනතාව මෙහි ඇති දේශපාලන යථාර්ථය තේරුම්ගත යුතුව ඇති බවද දිනන දකුණ සාමූහිකය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
