සංඥා භාෂා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට
August 14, 2026 01:28 pm
සංඥා භාෂා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පැවැත්වෙන 35 වැනි කමිටු සැසියට සහභාගීවීම සඳහා මෙරටින් පිටත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම සැසිය අද (14) සහ හෙට (15) යන දෙදින තුළ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
එහිදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇත.
නව රජය යටතේ පසුගිය මාස 18ක පමණ කාලය තුළ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන ඇති අතර, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කර ඇති බව එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ අතර, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආබාධ සහිත පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති අතර, ඔහු ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිත්වය දරමින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සක්‍රීයව දායක වෙමින් සිටින බවද ඔහු කීය.
එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
තවද, අධ්‍යාපන, ප්‍රවාහන, නිවාස හා ජල සම්පාදන ඇතුළු රේඛීය අමාත්‍යාංශ රැසක් ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
