බස් හෝල්ට් අවහිර වන ලෙස වාහන නතර කරන රියදුරන්ට වැඩ වරදියි

බස් හෝල්ට් අවහිර වන ලෙස වාහන නතර කරන රියදුරන්ට වැඩ වරදියි

August 14, 2026   08:56 pm

පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී ඇත.

බස් නැවතුම්පොළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නතර කිරීමට සිදුවන අතර, එමගින් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිතවලට ද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බව පොලීසිය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ මේ වන විට ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කිරීමට හැකියාව පවතින බස් රථ සේවාවක්ද හඳුන්වා දී තිබෙන බැවින් බස් රථ නැවතුම් ස්ථානවල එම බස් රථ නැවැත්වීමට හැකි පරිදි අවහිරතාවයන්ගෙන් තොරව පැවතිය යුතු බවය.

මෙලෙස වෙනත් වාහන නවතා තබන විට ආබාධිත පුද්ගලයින්ට මෙන්ම මගීන්ට ද බස් රථවලට නැගීමේදි හා බැසීමේදි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදු ව ඇති බව පොලීසිය අවධාරණය කර සිටී.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර බස් රථ නැවතුම් ස්ථානයට ළඟා වීමට මීටර් 30ක් ඇතුළත හා පිටවන මීටර් 15ක් ඇතුළත වාහන නවතා තැබීම එමඟින් තහනම් කර ඇත. 

එම ගැසට්‌ පත්‍රය මඟින් බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම් ස්ථානයට ලඟාවෙන පැත්තෙන් මීටර් 15ක් ද, පිටවීමේ දෙසින් මීටර් 10ක්ද ඇතුළත අනෙකුත් වාහන නතර කර තැබීම තහනම් කර තිබේ.

මගී ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුනට බස් රථවලට නැගීමට හා බැසීමට හැකියාව ලැබෙන පරිදි බස් රථ නැවතුම් ස්ථානවල වෙනත් වාහන නවතා තබන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සියළු පොලිස් ස්ථානයන් දැනුවත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.