අධික උණුසුම සහ වර්ෂාව නිසා දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්

අධික උණුසුම සහ වර්ෂාව නිසා දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්

August 15, 2026   11:23 am

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික උෂ්ණත්වය සහ තවත් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සහිත කාලගුණික වෙනස්වීම් හේතුවෙන්, දරුවන් අතර ආකාර දෙකකින් රෝග බෝවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ දිනවල පවතින අධික උණුසුම හමුවේ දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ද විජලනයට පත්වීමේ හැකියාව පවතින බැවින්, වැඩිපුර ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටී. 

විශේෂයෙන්ම සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක්වත් පානය කිරීම සුදුසු වන අතර දරුවන්ට ජලය ලබා දීමේදී ඔවුන්ගේ ශරීර බරට සරිලන ලෙස ජලය ලබා දීමට දෙමාපියන් වගබලා ගත යුතුය.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකර සිටීමෙන් වකුගඩු ආබාධ ඇතිවීමේ ඉහළ ඉඩකඩක් පවතින බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇති බව ද වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ජලය පානය නොකර එළිමහනේ රැකියාවල නිරත වීම, විනෝද චාරිකා යෑම ආදිය හේතුවෙන් තාප කම්පන තත්ත්වයන්, ක්ලාන්තය, වලිප්පුව වැනි සංකූලතා ඇතිවිය හැකි අතර, එය මරණයට ද හේතු විය හැකි බරපතළ තත්ත්වයක් බව වෛද්‍යවරයා පැවසීය.

එම නිසා නිවසින් බැහැරට යන අවස්ථාවන්වලදී ජල බෝතලයක් රැගෙන යන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙම කාලසීමාව තුළ පාචන තත්ත්වයන් පැතිරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බැවින් සෑම විටම දරුවන්ට පිරිසිදු පානීය ජලය සහ පිරිසිදු ආහාර පමණක් ලබා දීමට දෙමාපියන් වගබලා ගත යුතු බවය. 

පැණි බීම සහ කෙටි ආහාර දරුවන්ට ලබා දීමෙන් වළකින ලෙසත්, ඒ වෙනුවට දෙහි, නාරං, දොඩම්, තැඹිලි වතුර, කැඳ වර්ග සහ සුප් වැනි ස්වාභාවික දියර වර්ග පානය කිරීමට යොමු වන ලෙසත් මෙහිදී වෛද්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

මේ අතර දරුවන්ට ජංගම දුරකථන භාවිතා කරමින් කාලය ගත කිරීමට ඉඩ නොදී ඔවුන්ව විවිධ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා යොමු කරන ලෙසද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.