නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි

නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි

August 15, 2026   02:57 pm

ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (15) දින සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පැවසුවේ ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලදාරීන් තීරණය කළ බවය.

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම, උපාදිය අවම සුදුසුකම බවට පත් කිරීම, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඇතුළත් ගම්මන්පිල කමිටුව විසින් නිර්දේශ කරන ලද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලබා ගැනීම, සෙනසුරාදා ඇතුළු රජයේ නිවාඩු දිනවල සිදුකරන සේවය වෙනුවෙන් දිනක වැටුප ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් විසින් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටියේය.

කෙසේ වෙතත් අදාළ දෙදින වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා රජය විසින් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සහ ඉල්ලීම් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කළ බව ඒ මහතා අද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නෙවිල් විජේරත්න මහතා, 

"අපි තීරණය කරලා තියෙනවා සංගමයක් විදිහට අනෙකුත් සංගම්වලටත් අපි ආරාධනා කළා අද දින සිට සෙනසුරාදා කාර්යාල දිනවලින් ඉවත්වෙන්න. ඒ අනුව කිසිදු අමතර දීමනාවක් නොලබා අපේ නිවාඩු කැප කිරීමෙන් කරන ඒ කාර්යාල දිනය අපි ඉවත් කරනවා. ඒ වගේම එදාට අපි ක්ෂේත්‍ර රාජකාරි කරන්නේ නෑ. ඒ අනුව සෙනසුරාදා කාර්යාල දිනය අපි වර්ජනය කරනවා. ඒ අනුව ග්‍රාම නිලධාරීන් මින් ඉදිරියට නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින පමණයි වසමේ කාර්යාල තුළ රැඳී සිටින්නේ."