බස් රියදුරුට පහරදීමට තැත්කළ සිද්ධිය - කාන්තාව ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ් 

බස් රියදුරුට පහරදීමට තැත්කළ සිද්ධිය - කාන්තාව ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ් 

August 15, 2026   04:49 pm

දිවුලපිටිය නගරයේදී බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව ඇතුළු තිදෙනෙකු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දිවුලපිටිය නගරයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයකට පිටුපසින් පැමිණි මෝටර් රථයක් එකවරම බස් රථයට හරස් කර නවතා, එම මෝටර් රථයෙන් බැසගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයේ රියදුරු වෙත කඩුවක් අතැතිව පහරදීමට උත්සාහ කර තිබුණි.

බස් රථය තුළ සිටි මගියෙකු විසින් මෙම සිදුවීමම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබූ අතර, එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය විය.

එම වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවුලපිටිය පොලිසිය විසින් අදාළ මෝටර් රථයේ ගමන්ගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙලෙස අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරන ලදී.