තවත් අන්තර්ජාල වංචාවක සුලමුල හෙළිවෙයි
August 16, 2026 06:10 pm
ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
පොලීසිය පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ භාණ්ඩ අලෙවි කරමින් මෙම ජාවාරම සිදුවන බවයි.
ඇස්බැස්ටෝස්, සිමෙන්ති හෝ වෙනත් ද්‍රව්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට දැන්වීම් පළ කරමින් ඇණවුම් ලබාගැනීම මෙහිදී සිදුවන බව සඳහන් වෙයි.
එම ඇණවුමට අනුව අදාළ වංචාකරුවන් ඇණවුම ලබාදුන් පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෙකු හරහා ඇණවුමට අදාළ ලිපිනයට භාණ්ඩ ලබාදීමක් සිදුකරන බව වාර්තා වෙයි.
එහිදී භාණ්ඩ පැමිණි විගසම වංචාකරුවන් විසින් ඔහුගේ බැංකු ගිණුමට මුදල් බැරකර ගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.
කෙසේවෙතත් භාණ්ඩ රැගෙන ආ රියදුරු මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී තමන් වංචාකරුවෙකුට හසුවී ඇති බවට තහවුරු වන බව පොලීසිය පෙන්වා දෙයි.
මෙවැනි සිදුවීම් පිළිබඳව පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
