බොරතෙල් මිල ඇ.ඩො 80 සීමාවේ රඳවා ගතහොත් උද්ධමනය පාලනය කළ හැකියි - මහ බැංකු අධිපති

බොරතෙල් මිල ඇ.ඩො 80 සීමාවේ රඳවා ගතහොත් උද්ධමනය පාලනය කළ හැකියි - මහ බැංකු අධිපති

August 17, 2026   10:47 pm

ගෝලීය බොරතෙල් මිල මෙම වසර අවසානය දක්වා බැරලයක් අමෙරිකානු ඩොලර් 80 ක පමණ මට්ටමක පවත්වා ගතහොත් ශ්‍රී ලංකාවට උද්ධමනය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

"මෙම වසර අවසානය දක්වා තෙල් මිල ඩොලර් 80 ක පමණ මට්ටමක පැවතුනහොත් අපට තත්ත්වය පාලනය කරගත හැකියි. කෙසේ වෙතත්, යම් අනපේක්ෂිත වෙනසක් සිදු වුවහොත් එය පැහැදිලිවම අභියෝගයක් වනු ඇත," යැයි ඔහු එහිදී සඳහන් කරයි.

ගෝලීය බලශක්ති මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනය සහ දේශීය මුදල් ඒකකයට එල්ල වන බලපෑම් සමඟ ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින පසුබිමක ඔහුගේ මෙම කරුණු ප්‍රකාශ කර තිබේ.

මෙම වසරේ දෙවන භාගයේදී සහ ලබන වසරට පිවිසීමේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය මහ බැංකුවේ 5% ඉලක්කය කරා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකුව විසින් මැයි මාසයේදී හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම ආනයන පාලනය කිරීම සඳහා රජය ගත් පියවර මෙම තත්ත්වය යහපත් අතට හැරවීමට හේතු වූ බව ඔහු පෙන්වා දෙයි.

ගෝලීය අවිනිශ්චිතතාවන් අඛණ්ඩව පැවතුනද, දැඩි මූල්‍ය කොන්දේසි සහ ඉහළ මිල ගණන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දැඩි අහිතකර බලපෑමක් අපේක්ෂා නොකරන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

මෙම වසරේ දෙවන භාගයේදී ආර්ථික වර්ධන වේගය සියයට 4 ත් 5 ත් අතර මට්ටමකට මධ්‍යස්ථ වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

2022 වසරේ රටේ ස්වෛරී ණය පැහැර හැරීමකින් අවසන් වූ ආර්ථික අර්බුදයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනකට පිවිසීමෙන් පසු ශ්‍රී ලංකාව තවදුරටත් ඉන් ගොඩ ඒමේ ක්‍රියාවලියක නිරතව සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු වැඩසටහන 2027 වසරේ දෙවන භාගයේදී සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂිත අතර, එහි මීළඟ සමාලෝචනය මේ වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී පමණ අපේක්ෂා කෙරේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්  මහ බැංකු අධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සංචාරය කර ඇති අරත එහිදී මෙම සම්මුඛ සාකච්ඡාවට එක්ව ඇත.