චෝදනා දෙකකට අදාළව කෙහෙළිය ඇප මත මුදා හැරේ
August 18, 2026 04:08 pm
UPDATE:5.16PM
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ "සඳගල" නමැති පුරාවස්තුවක් සොරකම් කළ සිය පුත්‍රයා එම චෝදනාවෙන් බේරා ගැනීම සඳහා බලය අයුතු ලෙස ක්රියාවේ යොදවා දූෂණය නැමැති වරද සිදුකළේ යැයි අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අද සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ පමුණුවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
"ස්වාමීනී මෙම සැකකරුගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මෙම සැකකරුගේ ආධාරකරුවන් පිරිසක් සමග ඓතිහාසික සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කර තිබෙනවා. පසුව මේ සිද්ධිය පිළිබඳව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කළා. පසුව මේ සැකකාර හිටපු අමාත්‍යවරයා 2022 වසරේ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වශයෙන් කටයුතු කළ රත්නායක, මහනුවර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ දිසානායක සහ පල්ලෙකැලේ පොලීසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත තම නිල නිවසට කැඳවා මෙම අපරාධය සම්බන්ධයෙන් විමසා තිබෙනවා. ඒ අනුව මෙම නිලධාරින් හිටපු ඇමතිට දැනුම් දී තිබෙනවා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරන බවට. ඒ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා විසින් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ ප්‍රසාද් රණසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබාගන්නවා. එසේ ඇමතුමක් ලබාගෙන මේ විමර්ශනයේ පවතින වත්මන් තත්ත්වය ගැන විමසීමක් කරනවා. එහිදී සැකකාර හිටපු අමාත්‍යවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ විමසීම්වලට ඒ අවස්ථාවේදී එවක නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා "සර් බයවෙන්න එපා. සර්ගේ පුතාට මොකුත් වෙන්නේ නැහැ" යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බවත් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් එම නිලධාරියා පැවසුවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් වත් සටහන් කරගෙන නෑ. මෙම සැකකරුගේ මහනුවර තිබෙන නිවසේ මෙම සඳගල තිබෙන බවට තොරතුරු ලැබී තිබුණද එය පරීක්ෂා කිරීමට ඔහු පොලිසියට අවසර දී නැහැ." යනුවෙන් සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා" ස්වාමීනි පසුව මේ සිද්ධියේ සැකකරුවෙකු වන ප්‍රසාද් සංජීව නමැත්තාට මේ සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා කවුරු හරි දෙතුන් දෙනෙක් දාලා මේ නඩුව අවසන් කරන්න බැරිද කියලා. ඒකට යන වියදම් සියල්ල තමන් දරන බවත් හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කරනවා" ඒ අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර එක් පුද්ගලයෙකුට රුපියල් 1,500 බැගින් දඩ නියම කරමින් එම නඩු කටයුත්ත අවසන් කරනවා"
යනුවෙන් අල්ලස් කොමිසම පැවසුවා.
ඒ අනුව, මෙම චෝදනාව සම්බන්ධයෙන් සිය පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල එම වරදින් බේරාගැනීම සඳහා සිය බලය අයුතු ලෙස යොදවා ගැනීම තුළින් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා දූෂණය නැමැති වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි මෙම සැකකරුට එරෙහිව නඩු දහතුනක් තිබෙනවා. සැකකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් 81ක් වතාවක් අල්ලස් කොමිසමට ගිහින් ප්‍රකාශ ලබා දී තිබෙනවා. මේ තුළින් පැහැදිලි වෙනවා මේ සැකකරු අධිකරණය හෝ අල්ලස් කොමිසම මගහරින පුද්ගලයකු නොවන බවට." ඒ අනුව සැකකරු ඇපමත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවින් ඔහු ඇප මත මුදා හරින බව නියම කර තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන්න ලෙසත් නියම කර තිබේ.
ඉන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අනුමත කාර්ය මණ්ඩලයක් සිටියදී එය ඉක්මවා සේවකයින් හය දෙනෙකු බඳවාගෙන සිය පෞද්ගලිකාර්ය මණ්ඩලයට යොදවා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව තවත් පැමිණිල්ලක් අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා නියම කළේය.
---------------
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලක් සඳහා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා ලැබූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බොදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
තවත් නඩුවකට අදාළව කරුණු දැක්වීම මේ වනවිට අධිකරණ හමුවේ සිදුවන බව සඳහන් වෙයි.
