පලෙයි කැලේ ත්‍රස්තවාදී කඳවුරක් ගැන සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යක් - ඇමති නලින්ද
August 18, 2026 06:00 pm
පලෙයි කැලය තුළ LTTE ත්‍රස්තවාදී කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වූ සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිදු ත්‍රස්තවාදී කඳවුරක් එම ස්ථානයේ නොමැති බවය.
සිදුව ඇත්තේ අදාළ රක්ෂිතයේ කොටසක් පුද්ගලයෙකු අනවසරයෙන් එළිකර තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතැයිද ඒ තුළ එම ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් මෙම කැලයේ කොටසක් අනවසරයෙන් හෙළි කිරීම සම්බන්ධව අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇතැයිද ඒ අනුව එම පුද්ගලයාට එරෙහිව නඩු 7ක් පවරා ඇතැයිද අමාත්‍යවරයා අනාවරණය කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
"පලෙයි කැලේ LTTE කඳවුරක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් කියන මැයෙන් සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා. සිදුවීමට අදාළව දැනට කරුණු වාර්තා වෙන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන්පුලම් පොලිස් වසමට අයත් කන්නගිපුරම් බටහිර ග්‍රාම නිලධාරී වසමේ මුක්කන්පන් කියන ප්‍රදේශයේ තමයි මේ සිදුවීම සිදුවෙලා තිබෙන්නේ.
මේ ප්‍රදේශය 1919 නොවැම්බර් 17 වෙනිදා ගැසට් කරපු අංක 70/64 ගැසට් පත්‍රයේ රක්ෂිතයක් හැටියට ගැසට් කරලා තියෙනවා. 2025 ඉඳලා මේ රක්ෂිතයේ කැලෑ එළි කිරීම් සම්බන්ධයෙන් කරුණු වාර්තා වෙලා තිබෙනවා. 2026 ජනවාරි මාසයේදී තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වෙලා තියෙනවා. මේ වන විට එහි මහල් 4ක් ඉදි කරලා තිබෙන බවත් වාර්තා වෙනවා. අඩවි වන කාර්යාලය මගින් වැටලීම් ගණනාවක් සිදුකරලා තිබෙනවා මේ කාලය ඇතුළතදි. ඒ අනුව නඩු 7ක් පවරලා තිබෙනවා මේ ත්‍යාගරාසා ගුනදීපන් කියන මෙහි අයිතිකරුට එරෙහිව.
ඔහු එම ප්‍රදේශයේ මුළින් අක්කර 10ක් පසුව අක්කර 20ක් ප්‍රදේශයක් අනවසරයෙන් එළි කරමින් කෝමාරිකා සහ එළවළු වගා කරමින් සිටින බව වාර්තා වෙලා තිබෙනවා. මේ 2026 පෙබරවාරි 6 වැනිදා කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා විසින් එම භූමියට ඇතුල්වීම තහනම් කරලා තිබෙනවා. පෙබරවාරි 17 වැනිදා තහනම් නියෝගය ඉවත් කිරීමට ඉල්ලා තිබෙනවා නමුත් තහනම් නියෝගය ඉවත් කරලා නෑ ඊළඟ නඩු දිනය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ 25 වැනිදා ඒ අතරෙදි මේ පුද්ගලයා ට්‍රැක්ටරයක් ඇතුළු යන්ත්‍ර භාවිත කරමින් අනවසරයෙන් වැලි කැණීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් පොලීසිය විසින් නඩුවක් පවරලා තිබෙනවා
2026-07-24 වන දින අඩවි වන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. මේ වැටලීම සඳහා STF සහාය ලබාගෙන තිබෙනවා. මේ විදිහට වරින් වර මේ පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම අධිකරණයෙන් ඇප ලබා දීලා තිබෙනවා නඩු දිනය ඉදිරියේදී පැවැත්වෙනවා.
මෙන්න මේ සිදුවීම සම්බන්ධයෙන් තමයි මේ ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කරන්නේ. LTTE පුහුණු කඳවුරක් පැවැත්වුවා කියන එක අතිශය ව්‍යාජ ප්‍රවෘත්තියක්. මේ රක්ෂිතය තුළ අයිතිකරුවා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මේ අයිතිය ඔවුන්ට තිබෙනවා කියලා යම් ලිපි ප්‍රමාණයක්. එයත් විභාග වෙමින් පවතිනවා. කෙසේ නමුත් ගතවෙච්ච අවුරුදු එකහමාර ඇතුළතදි මේ අනවසර ඉදි කිරීම් සහ කැලෑ කැපීමට එරෙහිව විටින් විට අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණයට ඉදිරිපත් කිරීම් කරලා තිබෙනවා.
ඒ ස්ථානයේ වගාවක් පවතිනවා සහ තෙමහල් ගොඩනැගිල්ල තුළ මැෂින් කිහිපයක් සහිතව ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් තිබෙනවා ඒ ගමේ ජනතාව සම්බන්ධ කරගෙන කියන එක තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයේ එය ලියාපදිංචි කරලා තිබෙනවා කියලාත් කරුණු වාර්තා කරලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තමයි එහි තිබෙන්නේ.
මේ තත්ත්වය තුළ එහි LTTE පුහුණු කඳවුරක් තිබෙනවා කියලා සාවාද්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරපු අය සම්බන්ධයෙනුත් දැන් නීතිමය වශයෙන් කටයුතු කරගෙන යනවා මේක තමයි තත්ත්වය."
