ඉන්දියාවේ ජනරජ දිනයට යුරෝපා සංගමයට විශේෂ ආරාධනයක්
සයුරෙන් එතෙර

ඉන්දියාවේ ජනරජ දිනයට යුරෝපා සංගමයට විශේෂ ආරාධනයක්

January 17, 2026   07:56 am

ජනවාරි 27 වන දින පැවැත්වීමට නියමිත 16 වන යුරෝපා - ඉන්දියානු සමුළුවේදී යුරෝපා සංගමය නියෝජනය කිරීම සඳහා යුරෝපීය කවුන්සිලයේ සභාපති සහ යුරෝපීය කොමිසමේ සභාපති ඉන්දියාවට පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුරෝපා -ඉන්දියානු උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කිරීම සහ ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම එහි අරමුණ බවද වාර්තා වෙයි.

එහිදී යුරෝපා සංගමයේ ප්‍රධානීන් දෙදෙනා නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිතව තිබේ. 

සාකච්ඡා ප්‍රධාන වශයෙන් වෙළඳාම, ආරක්ෂාව සහ ජනතාව අතර සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව යුරෝපා සංගමය නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙයි.

මේ අතර යුරෝපා ප්‍රධානීන් ජනවාරි 26 වන දිනට යෙදී තිබෙන ඉන්දියාවේ 77 වන ජනරජ දින පෙළපාළි සැමරුමට ද සහභාගී වනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

යුරෝපීය සංගමයේ නායකයින් ඉන්දීය ජනරජ දින පෙළපාළි සැමරුම්වලට සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර එය යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම පෙන්නුම් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා ඉන්දියාව සහ යුරෝපීය සංගමය අතර සාකච්ඡා මධ්‍යයේ මෙලෙස නායකයින් දෙදෙනෙකුගේ සංචාරය සිදුවීම විශේෂත්වයකි.