ට්‍රම්ප්ගේ තර්ජන මැද යුරෝපා සංගමය සහ දකුණු අමෙරිකානු රටවල් අතර වෙළෙඳ ගිවිසුමක්
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ තර්ජන මැද යුරෝපා සංගමය සහ දකුණු අමෙරිකානු රටවල් අතර වෙළෙඳ ගිවිසුමක්

January 18, 2026   01:59 pm

යුරෝපා සංගමය සහ මර්කෝසූර් 'Mercosur' වෙළෙඳ සංගමය අතර වසර 25ක් පුරා පැවති සාකච්ඡා සාර්ථක කරගනිමින් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබා තිබේ.

මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම ඊයේ (17) පැරගුවේහිදී දෙපාර්ශව අතර අත්සන් ලබා ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ගිවිසුම යුරෝපා සංගමය අතර පවතින විශාලතම වෙළෙඳ ගිවිසුමක් බවය.

තීරුබදු අඩු කිරීමට සහ කලාප දෙක අතර වෙළෙඳාම වැඩි කිරීම යන ප්‍රධාන කාරනා මුල්කරගනිමින් අත්සන් තැබූ මෙම ගිවිසුම සඳහා ඉදිරියේදී යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු අතර 'Mercosur' සාමාජිකයින් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ යන රටවල් වල පාර්ලිමේන්තුවලින්ද අනුමත කළ යුතුය.

දකුණු අමෙරිකානු රටවල් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ යන රටවල් අතර ඇති කරගත් පොදු වෙළෙඳපොළ 'Mercosur' නමින් හඳුන්වයි.

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සහ මර්කෝසූර් රටවල ජනාධිපතිවරුන් මෙම උත්සවය සඳහා සහභාගී තිබුණද බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ඩා සිල්වා පැමිණ නොතිබුන බවත් එරට විදේශ අමාත්‍යවරයා ඒ සඳහා සහභාගිකර තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මෙම ගිවිසුම් ගතවීමට පෙර ග්‍රීන්ලන්තය අමෙරිකාවට මිලදී ගැනීමට අවසර නොදුනහොත් යුරෝපීය රටවල් අටක් මත නව තීරුබදු පැනවීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි.

මිලියන 700 ක ජනතාවක් ආවරණය වන යුරෝපා සංගමය සහ මර්කෝසූර් අතර වෙළෙඳාම 2024 දී යුරෝ බිලියන 111 ක වටිනාකමකට ළඟා වේ.

යුරෝපා සංගමයේ අපනයන ප්‍රධාන වශයෙන් යන්ත්‍රෝපකරණ, රසායනික නිෂ්පාදන සහ ප්‍රවාහන උපකරණ වලින් සමන්විත වන අතර මර්කෝසූර් සංගමයේ අපනයන කෘෂිකාර්මික භාණ්ඩ, ඛනිජ ලවණ, දැව සහ කඩදාසි මත පදනම් මේ.