පාකිස්තානයත් විදෙස් ණය ගැන කතා කරයි
සයුරෙන් එතෙර

පාකිස්තානයත් විදෙස් ණය ගැන කතා කරයි

February 4, 2026   10:11 am

විදේශ ණය ලබාගැනීම නිසා පාකිස්තානයට අපහසු සම්මුති ඇති කර ගැනීමට සිදුවූ බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ් පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මූල්‍ය ආධාර සඳහා මිත්‍රශීලී රටවල් වෙත ළඟා වීමේදී සිදුවන අපහසුතා පිළිබඳව ඔහු මෙලෙස පවසා ඇති බවය.

ඉස්ලාමාබාද් හිදී රටේ කීර්තිමත් ව්‍යාපාරිකයන් සහ අපනයනකරුවන් වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ වත්මන් පාලක පක්ෂය බලයට පත්වන විට, ආර්ථික තත්ත්වය අතිශයින් අවදානම් තත්ත්වයක පැවැති අතර සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි බවය.

2023දී පැරිසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ සමඟ පැවති රැස්වීම පිළිබඳවද ඔහු අදහස් දක්වා තිබුණි.

දුෂ්කර කාලවලදී මිත්‍රශීලී රටවල් පාකිස්තානයට පූර්ණ සහයෝගය ලබාදුන් බවත්, ඩොලර් බිලියන ගණනක ණය ලබාගැනීම සඳහා රටවල් කිහිපයක නායකයින් හමුවූ බවත් පවසා තිබුණි.

කෙසේ වෙතත්, ඔහු පැවසුවේ මිත්‍රශීලී රටවලින් ණය ඉල්ලා සිටියදී එම රටවල් කලකිරීමට පත් නොකළ නමුත් ණයක් ලබා ගැනීමට හිස නැමීමට සිදුවූ බවත්ය.