හෝමූස් වෙත එල්ල වෙන ඕනෑම බාධාවක් ඉන්දියාවේ ස්ථාවරත්වයට බලපෑමක් 
සයුරෙන් එතෙර

හෝමූස් වෙත එල්ල වෙන ඕනෑම බාධාවක් ඉන්දියාවේ ස්ථාවරත්වයට බලපෑමක් 

April 23, 2026   09:51 am

බලශක්ති සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉන්දියාව සතු අවධානය පෙන්වා දෙමින් එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදුවන ඕනෑම බාධාවක් රටේ ආර්ථිකයට සහ ස්ථාවරත්වයට සෘජු බලපෑමක් ඇති කරන බව ප්‍රකාශ කර ඇත.

බලශක්තිය සඳහා බටහිර ආසියානු කලාපය මත දැඩි ලෙස කටයුතු කරන ඉන්දියාව එවැනි බාධා කිරීම් දුරස්ථ සිදුවීම් නොව ජාතික ආරක්ෂාවට සහ ආර්ථික අවශ්‍යතාවලට බලපාන ක්ෂණික අභියෝග බව ඔහු පෙන්වා දෙයි.

ජර්මනියේ තෙදින සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එරට ආරක්ෂක සහ සුරක්ෂිතභාවය පිළිබඳ ස්ථාවර කමිටුව අමතමින් මෙසේ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවද, වත්මන් භූ-දේශපාලනික අස්ථාවරත්වය තවදුරටත් කලාපීය කාරණයක් ලෙස පමණක් දැකිය නොහැකි බවද රාජ්නාත් සිං පවසයි.

එහි ප්‍රතිවිපාක ගෝලීය මට්ටමින් බලපාන බව පැවසූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ඒවා හුදෙක් කුඩා සිදුවීම් නොව, බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි දුරදිග යන බලපෑම් ඇති කරන බරපතළ කරුණු ලෙස පෙන්වාදී තිබේ.

මෙම අභියෝග සහ ඒවායේ සෘජු බලපෑම් සැලකිල්ලට ගනිමින් ඉන්දියාව ක්‍රියාකාරී සහ සම්බන්ධීකරණ උපාය මාර්ගයක් අනුගමනය කර ඇති බවද ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරයි.