සයුරෙන් එතෙර
ඉරානයේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි - ට්‍රම්ප්
May 11, 2026 05:54 am
යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනාවලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පාකිස්තානය හරහා එවන ලද ටෙහෙරානයේ යෝජනාවට, යුද්ධය වහාම අවසන් කිරීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් නැවැත්වීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහතික වීම ඇතුළත් බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙසේවෙතත් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ "ඉරානයේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මම දැන් කියෙව්වා. මම ඒකට කැමති නැහැ - එය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි." බවය.
කරුණු 14 කින් සමන්විත අමෙරිකානු යෝජනාවලියට ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සාරවත් කිරීම අත්හිටුවීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ප්‍රවාහනය යළි ස්ථාපිත කිරීම වැනි විධිවිධාන ඇතුළත් බව වාර්තා වේ.
ඉරානය දිගින් දිගටම හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් සිටින අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ද ඉහළ ගොස් ඇත.
එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ද තම කොන්දේසිවලට එකඟ වන ලෙස ටෙහෙරානයට බලපෑම් කිරීම සඳහා ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පියවර ඉරානයේ දැඩි කෝපයට හේතු වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
