WPBA සංගමයෙන් බැඩ්මින්ටන් තරගාවලියක් හා පුහුණුකරු පාඨමාලාවක්
May 15, 2026 02:11 pm
බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) විසින් වයස් කාණ්ඩ (ශ්‍රේණිගත නොවන) කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියක් හා උසස් පුහුණුකරු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව වයස් කාණ්ඩ කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාව බාලක බාලිකා දෙයංශයෙන්ම වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එම තරග එළැඹෙන ජූනි 13වැනිදා සිට ජූනි 21 දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් සහ කොළඹ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්රීඩාගාරයන්හිදී පැවැත්වීමට සැලසුම්කර ඇත.
මෙම තරගාවලිය සඳහා එක්වන එක් කණ්ඩායමකින් රු. 10,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් අයකරනු ලබයි.
එමෙන්ම ජයග්‍රාහකයන් සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාග ලබාදීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.
මේ අතර පුහුණුකරු පාඨමාලාව පළමු මට්ටමේ සහතිකලත් පාඨමාලාවක් වන අතර, ඒ සඳහා පුහුණුකරුවන් 40 දෙනෙකුට අවස්ථාව සලසා දී තිබේ.
සුදුසුකම් ලත් කොරියානු පුහුණුකරුවන් විසින් එය මෙහෙයවනු ලබන අතර, උපක්‍රම (Court craft) සහ ක්‍රීඩා උපාය මාර්ග කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරනු ඇත.
එම පාඨමාලාව 20දෙනා බැගින් වූ කාණ්ඩ 2ක් ලෙස තෙදිනක් පුරා පැවැත්වේ.
එය 2026 ජූනි 22 සිට ජූනි 24 දක්වා සහ 2026 ජූනි 25 සිට ජූනි 27 දක්වා වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමයේ ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් පළකර ඇති පෝරමය එම වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය.
සම්මුඛ පරීක්ෂණයෙන් පසු තෝරාගත් අයදුම්කරුවන්ට රු. 10,000ක පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතුව ඇත.
මෙරට පැරණිම බැඩ්මින්ටන් සංගමයක් ලෙසින් සැලකෙන බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) සංගමයට අනුබද්ධිත ආයතනයක්ය.
එය 1972 වසරේ සිට ක්‍රියාත්මකය.
