චෙක් ජනරජය පරදා දකුණු කොරියාවට පහසු ජයක්

June 12, 2026   10:46 am

FIFA ලෝක කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩයේ දෙවන තරගයෙන් චෙක් ජනරජය පරදා ගෝල 2-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු කොරියානු කණ්ඩායම සමත් විය.

මෙක්සිකෝවේදී පැවැත්වුණු මෙම තරගය මෙරට වේලාවෙන් අද (12) උදෑසන නිමාවට පත් විය.

තරගයේ පළමු අර්ධය පුරා කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වුවද, කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල දකුණු කොරියානු සහ චෙක් ජනරජ ආරක්ෂක පෙළ ඉඩ ලබා දුන්නේ නැත.

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භ වීමත් සමග තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

59 වන මිනිත්තුවවේදී චෙක් ජනරජය තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

ඉන් පසුබට නොවූ දකුණු කොරියානු ක්‍රීඩකයින්, විනාඩි 8ක් ඇතුළත එනම් 67 වන මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් තරගය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.

තරගය නිමා වීමට තවත් විනාඩි 10ක් (මි. 80 ) තිබියදී දකුණු කොරියාව සිය දෙවන ගෝලයත් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

ඒ අනුව ප්‍රබල සටනකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස තරගය ජයගත් දකුණු කොරියාව මෙවර ලෝක කුසලාන තරගාවලිය සාර්ථක ආරම්භයකින් සනිටුහන් කළේය.

මෙම ජයත් සමග දකුණු කොරියාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 22වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර, චෙන් ජනරජය 43වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් පහළට වැටුණි.