පාකිස්තානයේ දරුවන් 14කට මරු කැඳවූ සිද්ධියේ පරීක්ෂණ කඩිනම් කරයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ දරුවන් 14කට මරු කැඳවූ සිද්ධියේ පරීක්ෂණ කඩිනම් කරයි

July 2, 2026   08:45 am

පාකිස්තානයේ, ලාහෝර් නගරයට ආසන්න කාහ්නා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් දරුවන් 14 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ බලධාරීන් කඩිනම් කර තිබේ.

ඒ අනුව ඊට වගකිවයුතු පුද්ගලයින් දෙදෙනෙකු දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඛේදවාචකය පිළිබඳව දැඩි කනස්සල්ලට පත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මියගිය දරුවන්ගේ පවුල් වෙත තම ශෝකයද ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබුණි.

පසුගියදා සිදුවූ මෙම අනතුරින් තවත් දරුවන් පස් දෙනෙකු පමණ බරපතළ තුවාල ලබා තිබූ අතර ගුරුවරයෙකු ද තුවාල ඇති බව වාර්තා විය.

අනතුර සිදුවීමත් සමග ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව සුන්බුන් අතර සිරවී සිටි දරුවන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.

වෛද්‍ය වාර්තාවලට අනුව, මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති දරුවන් අවුරුදු 4 ත් 12 ත් අතර වයස්වල පසුවන්නන් ය.

තුවාල ලැබූ අනෙක් දරුවන් මේ වනවිටත් රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව පැවසෙයි.