ඉන්දියාවේ අලුත්ම අත්හදා බැලීම
සයුරෙන් එතෙර

ඉන්දියාවේ අලුත්ම අත්හදා බැලීම

July 28, 2026   05:48 pm

ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් නිෂ්පාදිත ‘කුෂා’ නමැති දිගු දුර මිසයිල පද්ධතියේ ප්‍රථම ගුවන් අත්හදා බැලීම ඔඩිෂා වෙරළට ඔබ්බෙන් පිහිටි අබ්දුල් කලාම් දූපතේදී සාර්ථකව සිදුකර තිබේ.

අධික වේගයෙන් සහ ඉහළ අහසේ පියාසර කරන සතුරු තර්ජනයක් සංකේතවත් කරමින් සකස් කළ විද්‍යුත් ඉලක්කයක් වෙත එල්ල කරන ලද මෙම මිසයිල පද්ධතිය, එම ඉලක්කය සාර්ථකව විනාශ කිරීමට සමත් වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සතුරු ප්‍රහාරක ගුවන් යානා, මිසයිල, නියමුවන් රහිත ගුවන් යානා සහ විශාල ප්‍රමාණයේ සතුරු ගුවන් යානා ඇතුළු විවිධ මාදිලියේ ගුවන් තර්ජන රැසක් ඉහළ අහසේදී මෙන්ම පුළුල් පරාසයක් පුරා විනාශ කිරීමේ හැකියාව මෙම මිසයිල පද්ධතිය සතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සාර්ථක අත්හදා බැලීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ට සිය සුබ පැතුම් පිරිනමා තිබේ. 

තවද, මෙවැනි දීර්ඝ පරාසැති මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීමේ තාක්ෂණික හැකියාව සතුවන්නේ ලොව ඉතා සුළු රටවල් ප්‍රමාණයකට පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම මිසයිල පද්ධතිය හරහා විදේශයන්ගෙන් මිසයිල ආනයනය කිරීම අඩුවන අතර ඉන්දියාවේ ගුවන් ආරක්ෂණ හැකියාව සැලකිය යුතු ලෙස ශක්තිමත් වන බවද වැඩිදුරටත් පවසා ඇත.