සයුරෙන් එතෙර
ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට
July 30, 2026 11:09 am
ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය සනා ටකායිචි (Sanae Takaichi) පවසයි.
කියුෂු දූපතේ කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට බලපෑ රිච්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස සහ විදුලිබල පද්ධති වලට විශාල හානියක් සිදුව ඇති අතර, ජීවතුන් අතර සිටින අය සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතී.
සාප්පු සංකීර්ණයක කොටසක් කඩා වැටීමෙන් සහ ඉන් පැයකට පමණ පසු එහි සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට සහන මධ්‍යස්ථානවල රඳවා සිටින නමුත්, ප්‍රදේශයේ පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ ඔවුන් සිසිල්ව සහ විජලනයෙන් තොරව තබා ගැනීම විශාල අභියෝගයක් වී තිබේ.
ප්‍රාන්තයේ උෂ්ණත්වය ඉදිරි දිනවලදී සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අනාවැකි පෙන්වා දී ඇති අතර, උණුසුම් ආඝාතයෙන් (heatstroke) ආරක්ෂා වන ලෙස ආරක්ෂක අංශ සහ බලධාරීන් දිවි ගලවා ගත් අයගෙන් සහ සහාන සේවකයින්ගෙන් ඉල්ලා සිටී.
