එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරය ස්ටීවන් ෆ්ලෙමින්ට
July 30, 2026 03:42 pm
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කිරීමට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) තීරණය කර තිබේ.
දැනට 53 හැවිරිදි වියේ පසුවන ෆ්ලෙමින්, මීට පෙර කිසිදු දිනක ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර නොමැති වීම විශේෂත්වයකි.
කෙසේ නමුත් ඔහු වසර 17ක් පුරා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සාර්ථකව කටයුතු කළ අතර, ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ චෙන්නායි කණ්ඩායම IPL ශූරතා 5ක් දිනා ගැනීමට සමත් විය.
ඔහු මෑතකදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට ද කටයුතු කළේය.
"එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට ලැබීම ගැන මම අතිශයින්ම සතුටට පත්වෙනවා. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම කීර්තිමත් පුහුණු තනතුරක් වන මෙම තනතුරට පත්වීමට ලැබීම මට විශාල ගෞරවයක්".
ලබන අගෝස්තු 19 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ෆ්ලෙමින් එංගලන්ත කණ්ඩායම සමග එක් නොවන අතර, එම තරගාවලියේදී එංගලන්ත සහකාර පුහුණුකරු මාකස් ට්‍රෙස්කොතික් තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ස්ටීවන් ෆ්ලෙමින්ගේ පළමු නිල වගකීම වනු ඇත.
මේ අතර එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ විශාල නායකත්ව වෙනසක් ද සිදුකර තිබේ.
ඒ අනුව මෙතෙක් නායකයා ලෙස කටයුතු කළ බෙන් ස්ටොක්ස් වෙනුවට, හිටපු නායක ජෝ රූට්ට යළිත් වරක් එංගලන්ත ටෙස්ට් නායකත්වය ලබා දී ඇත.
මීට පෙර 2017 සිට 2022 දක්වා කාලය තුළ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවූ ජෝ රූට්, එහිදී තරග 65කට නායකත්වය ලබා දෙමින් ටෙස්ට් ජයග්‍රහණ 27ක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත් විය.
