සයුරෙන් එතෙර
පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කන්දේ හිම කුණාටුවක්
July 31, 2026 06:48 am
ලොව 12 වන උසම කඳු මුදුන වන පාකිස්තානයේ පිහිටි 'බ්‍රෝඩ් පීක්' කන්ද තරණය කරමින් සිටි ජාත්‍යන්තර කඳු නැගීමේ කණ්ඩායමක් ඊයේ (30) මධ්‍යහ්නයේ ඇති වූ හිම කුණාටුවකින් පසු අතුරුදහන් වී තිබේ.
නේපාලයේ උපන් සුප්‍රසිද්ධ හිටපු රාජකීය මැරීන් භටයකු වන නිර්මාල් පුර්ජාගේ නායකත්වයෙන් යුත් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස අතුරුදහන් වී ඇති බව පාකිස්තාන කඳු නැගීමේ නිලධාරීන් තහවුරු කරයි.
කරකෝරම් කඳුවැටියට අයත්, මීටර් 8,047ක් (අඩි 26,400) උසැති බ්‍රෝඩ් පීක් කඳු මුදුන ආසන්නයේදී ඊයේ මධ්‍යහ්නයේ දී මෙම හිම කුණාටුව හටගෙන ඇත.
කුණාටුවෙන් පසු අදාළ කණ්ඩායම සමග පැවැති සියලුම සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
මෙම ජාත්‍යන්තර කඳු නැගීමේ කණ්ඩායමට විවිධ රටවල දක්ෂ කඳු නගින්නන් ඇතුළත් වී සිටිති. ඔවුන්ගේ නායකයා නේපාලයේ නිර්මාල් පුර්ජාය.
ඔහු සමගින් තවත් නේපාල ජාතිකයින් 5දෙනෙකු, අමෙරිකානුවෙකු, චීන ජාතිකයෙකු සහ ඕමාන ජාතිකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අතුරුදන්ව ඇත.
මෙලෙස අතුරුදන්ව සිටින කණ්ඩායම් නායක නිර්මාල් පුර්ජා යනු 2019 වසරේදී මාස 6ක වැනි කෙටි කාලයක් තුළ ලොව මීටර් 8,000කට වඩා උසින් යුත් කඳු මුදුන් 14ම තරණය කළ අයෙකු ලෙස සැලකේ.
