2027 එක්දින ලෝක කුසලානයේ සත්කාරක නගර 12ක් නම් කෙරේ
July 31, 2026 11:33 am
අප්‍රිකානු කලාපය කේන්ද්‍ර කරගනිමින් 2027 වසරේ පැවැත්වීමට නියමිත පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන නගර 12ක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
2027 ඔක්තෝබර් 4 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 57කි.
තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් ත්‍රිත්වයේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, මෙය වසර 24කට පසු අප්‍රිකානු කලාපය මුල් කරගනිමින් පැවැත්වෙන පළමු පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද වේ.
තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළුව වැඩිම තරග ප්‍රමාණයක් පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ය.
ඒ සඳහා ජොහැන්නස්බර්ග්, සෙන්චූරියන්, ඩර්බන්, Gqeberha, කුගොම්පෝ සිටි, කේප්ටවුන්, පාල් සහ බ්ලූම්ෆොන්ටයින් යන නගර තෝරාගෙන ඇත.
තරගාවලියේ අවසන් මහා තරගය ජොහැන්නස්බර්ග් හි 'වොන්ඩර්ස්' හෝ කේප්ටවුන් හි 'නිව්ලන්ඩ්ස්' යන ක්‍රීඩාංගණ දෙකෙන් එකක පැවැත්වීමට නියමිතය.
සිම්බාබ්වේ රාජ්‍යය තුළ සමස්ත තරග 7ත් 10ත් අතර ප්‍රමාණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව හරාරේ සහ බුලවායෝ නගරවලට අමතරව, සුප්‍රකට වික්ටෝරියා දියඇල්ල අසල අලුතින් ඉදිවන ක්‍රීඩාංගණයේ ද තරග පැවැත්වීමට අවස්ථාව හිමිව තිබේ.
නැමීබියාවේ වින්ඩ්හෝක් අගනුවර කේන්ද්‍ර කරගනිමින් අවම වශයෙන් ලෝක කුසලාන තරග 3ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දකුණු අප්‍රිකාව අවසන් වරට පිරිමි එක්දින ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා දුන්නේ 2003 වසරේදී ය. එවර ඔවුන් සිම්බාබ්වේ සහ කෙන්යාව සමග එක්ව එය සංවිධානය කළේය.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව දකුණු අප්‍රිකාව විසින්, 2007 වසරේ පැවැති මංගල විස්සයි20 ලෝක කුසලානය, 2023 කාන්තා විස්සයි20 ලෝක කුසලානය, 2023 වයස අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ලෝක කුසලානය යන ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරකත්වය සපයනු ලැබීය.
