ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
සයුරෙන් එතෙර

ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

August 3, 2026   09:36 pm

ඉරාන නායකත්වයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානයට දැන් ඉතිරි වී ඇත්තේ ගිවිසුමකට පැමිණීම හෝ සම්පූර්ණ යටත් වීම යන විකල්ප දෙක පමණක් බවය.

Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, සාකච්ඡා සඳහා ඉල්ලා සිටින ඉරානය පසුව කිසිදු සාකච්ඡාවක නොයෙදෙන බව ප්‍රකාශ කරමින් ඕමානය සමඟ පමණක් ගනුදෙනු කරන බවට පවසන බවයි.

එසේම, හෝමුස් සමුද්‍ර සන්ධිය තමන් විසින් බලවත් ලෙස පාලනය කරන බව ඉරානය පැවසුවද, එය දැනටමත් එක්සත් ජනපද නාවික හමුදාවේ සහ දැඩි මුහුදු අවහිරයක පාලනය යටතේ පවතින බව ඔහු අවධාරණය කරයි.

"ගිවිසුමක් හෝ සම්පූර්ණ යටත් වීමක් සිදු වන තුරු ඉරාණයට කිසිවක් ළඟාකර ගත නොහැකියි. ඉරානය එය පිළිගැනීමට කැමති වුවත් නැතත්, අපි කතා කරන්නේ ඔවුන් දශක ගණනාවක් තිස්සේ ඇති කළ ගැටළුවකට විසඳුමක් ගැනය. එය ඉතා සරලයි, ඉරානය කිසිදා න්‍යෂ්ටික අවියක් හිමිකර ගන්නේ නැත" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.